Pages

Subscribe:

Ads 468x60px

Wednesday, February 6, 2013

ඊයේ......!




                              ඊයේ හරිම ලස්සන දවසක්.දවස දෙක තුනක් වහැපු වැස්ස නැවතිලා ලස්සනට ඉර පායලා තිබුනා.මම ටවුන් එකට යන්න පිටත් වුනේ විශේෂ වැඩකටත් නෙවෙයි ගෙදර ඉන්න කම්මැලි කමට.වෙලාව උදේ 9ට විතර ඇති.මම පාරට බැහැල සිංදුවකුත් කියාගෙන හෙමින් හෙමින් ගමන පටන් ගත්තා.අපේ ගෙදර පල්ලහ තියෙන ලොකු වෙල් යාය ලඟට එනකොට මම දැක්කා ඈත වංගුවෙන් කව්දෝ එනවා.ඇස් ලොකු කරලා හොඳට බැලුවම තමයි දැනගත්තේ ඒ එයා කියල !!
                                                                               එයා කිව්වේ මම කාලයක් තිස්සේ හිතින් විතරක් පෙම් කරන ගෑනු ළමයා.ලබන මාසේ ඉවර වෙන්න කලින් යාලුවෙන්න අහන්නයි මම හිතාගෙන හිටියේ.උදේ පාන්දරම කොහේ ගිහිල්ලද මන්ද.ඒ වෙලාවේ පැත්ත පළාතටම පේන්න හිටියේ උඩහ ගෙදර බල්ලා විතරයි.මේ වගේ අවස්ථාවක් ආය කවද ලැබෙන්නද කියල මට හිතුනා.අදම යාලුවෙන්න අහන්න ඕන කියල මම හිතාගත්ත.තව ටිකකින් මමත් පෙම්වතෙක් වෙයිද?කියල හිතනකොටත් මට මාර කික් එකක් දැනුනා.ම්ම කමිසේ අත් දෙක තව ටිකක්  නවාගෙන කොන්ඩෙත්  අතින් හදාගෙන අහක බලාගෙන මල් හිනාවක් ටෙස්ට් කරලා බැලුවා.තවම එයා ඈත.මම හෙමින් ඇවිදගෙන ගියා.
                         එකවරම ......මට අහන්න බෑ හිතුනා.අද විස්තර ටිකක් විතරක් කතාකරන්න ඕන කියල හිතුවා.ගුඩ් මොර්නින් නංගි.කුකුලත් අතින් අරන් උදේම කොහෙද ගියේ.බෑරක් වත්ද? ඒ මදැයි...
අව්වටද මන්ද මට දැන් ටිකටික දාඩියත් දාන්න පටන් අරන්.දැන් එයා මට හොඳටම පේන තරමට ලඟට ඇවිත්.

           එයා බිම බලාගෙන එනවා.මම හතර වටේම බල බල යනවා.යාලුවෙක් වත් හිටියනම් මේ වෙලාවේ...එක්කොත් අද කතාකරන්න බෑ හිනාවෙලා විතරක් යනවා.වචන දාහකින් කියන්න බැරිදේ එක හිනාවකින් කියන්න බැරියැ.ඔන්න දැන් එයා මට අතේ දුරින්.
                                            එකවරම එයා මගේ දිහාව බැලුවා.බලල හිනා වුනා.තප්පර 3ක් විතර යද්දී මට මතක්වුනා මමත් හිනාවෙන්න ඕන කියල.මම හිනාවෙන්න හැදුවා.මොන හිනාවක්ද.මූනේ මාන්ස පේසියෝ ගල් වෙලාද කොහෙද.අන්තිමේදී මමත් හිනාවුණා.ඒක හිනාවකට වඩා විරිත්තිල්ලක් කියල මටම හිතුනා.එයා හෙමීට මොකක්ද කිව්වා.මම හිතන්නේ ගුඩ් මෝනින් කියල.මමත් ඒ වගේ එකක් රහසින් වගේ කිව්වා.එය හිනාවෙලා බලන් ඉඳල ආපහු යන්න පටන් ගත්ත.බුදු අම්මේ ..කෙල්ලෙක්ගෙන් අහන එකත් මාරාන්තික වැඩක්නේ!!මට අප්සෙට් එකක් දැනුනා.අපරාදේ කියල හිතුනා.කමක් නෑ ඊළඟ දවසේ නම් කොහොමහරි අහනවා කියල හිතාගෙන ටවුන් යන එක නවත්තල මම ගෙදර ආවා..


පාර දිගේ නුඹ    ආවා 
හීන් හිනාවක්      පෑවා 
රහසින් මොනවද කීවා
මගේ සිහිය නැති  වූවා 

සත්තයි නුඹ දුටු      වේලේ 
මහදේ පිරුණයි       ආලේ 
කිසිදා නොතිබුණු කෝලේ 
සැනෙකින් මතුවුනු   තාලේ

එක අඩියක් නුඹ   දෙසටා 
තැබුවෙමි නුපුරුදු ලෙසටා 
නැවතත් සුපුරුදු   ලෙසටා 
ගත්තෙමි එය     පසුපසටා 

සුර අඟනක් සදිසි        රුවේ
සැඟවී ඇති මිහිරි           සුවේ 
වැනුමට කිසිවෙකු මෙලොවේ 
හිඳියිද සැකයක්           මතුවේ 

නිල්වන් නෙතු අගින්  මිදී 
ඉහිරෙන මුදු කැලුම්   වැදී 
හදේ පතුලටම        කිමිදී 
ආදරයේ සුවය           විඳි 

අද වගේම නුඹ          හමුවී 
හෙටත් මගේ මුව    ගොලුවී 
ගියොතින් නුඹ තරහ නොවී 
හිඳිනු මැනවි සිනහ      වේවි 

ඒ හිනැහෙන රුව නොලසා 
විදි හී සැරයක්           විලසා 
හද වෙත පියඹා         විගසා 
රැදේවි සැමදා       මෙලෙසා
/bye 

16 comments:

  1. බය වෙන්ඩ එපා.එයා හිනාවෙච්ච එක සුබ ලකුණක්.හැබැයි හිතින් ට්‍රයි කරන කෙනා දැක්කහම හිනාවෙන්න අමතක වෙන එක නං මාරම ලෙඩක් නේද..මටත් ඔය ලෙඩේ තියෙනව.එයා හිනාවුණාම මාත් කරන්නෙ මෝඩයා වගෙ බලං ඉන්න එක.ටිකකින් තමයි මතක් වෙන්නෙ අනේ මං හිනා වුනෙ නෑ නේද කියල....:)))P

    ReplyDelete
  2. ඊයෙ තමයි ඊයෙ නෙ ;)
    ඇති යන්තම් මෙයා එහෙම හරි හිනා උනා. හිතාගෙන හිටපු දේවල් ටික ටික වෙනස් කරද්දි මං හිතුව අන්තිමේදි අද හිනා වෙන්න ඕනත් නෑ ඔන්න ඔහෙ බිම බලාගෙන යනව කියල හිතාගන්න ඇති කියල :)

    මොනව උනත් මල්ලි ඔයාගෙ කවි ටික නම් හැමදාමත් වගේ නියමයි... :)

    ReplyDelete
  3. හොද ලිපියක් කසුන් අයියා

    ReplyDelete
  4. ඊ ළඟ චාන්ස් එක නම් මිස කරගන්න එපා කොල්ලෝ......

    ReplyDelete
  5. කවි ටික නම් පට්ට ආ.............................

    ReplyDelete
  6. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ..

    යාලූවො ඕන නෑ. තනියම කෙලින්ම කියන්න.. මගේ තියරිය :P

    ReplyDelete
  7. හෙහ් හෙහ්..බැලුවම දන්න කියන හැමෝම එකම බෝට්ටුවෙද මන්ද.. :D
    පද ටික නම් කියෙව්වම මැවෙන මැවිල්ල අඩියටම වදිනව ඈ (y)

    ReplyDelete
  8. "සුබ ලකුණු පෙනේ" වගේ. :)
    කවි ටික එල..!

    ReplyDelete
  9. @මගේ දිනපොත..කියල වැඩක් නෑ බන් .සංසාරේ හැටිලුනේ ...


    @වර්ෂා....,අපොයි ඔව් .මට කීප සැරයක්ම වෙලා තියෙනවා ..එතකොට අනිත් එක්කෙනා අපහසුතාවයට පත් වෙන එක ගැන මට නම් අප්සට් .:))

    ReplyDelete
  10. @Chams අක්කා ..ස්තුතියි අක්කේ :)මට පාර දිගේ ආපහු දුවන්න හිතුනා !!!ඒ වෙලාවේ හිනා ගියේ නැතුවට දැන්නම් මතක් වෙද්දීත් හිනා යනවා :D

    @Yasiru Udana ස්තුතියි මල්ලි ... :)

    @Lakeeshan suraweera ..තැන්ක්ස් ලකියෝ ..අනේ බන් .හිනාවෙන එකට වඩා වැඩි දෙයක් මට නම් කරගන්න බැරිවෙයිද මන්ද බන්...

    ReplyDelete
  11. @YASITH (dot) NET..ඒකනම් ඇත්ත .උඹ එහෙම කියනකොට මට කික් එකක් ආවා.එත් ඒක වැඩිවෙලා තියෙන්නේ නැතිවෙයි කියල මටම හිතෙනවා :))

    @ඉසුරු සම්පත්..., හි හි .අනිවා මචං.අපිට ඉතින් වැඩිය පළපුරුද්දක් නෑනේ..තාම L බෝර්ඩ් ! :D

    ReplyDelete
    Replies
    1. ඊළඟ දවසෙ බලන්න යන්න කලින් මගේ කොමෙන්ට් එක බලන්න.. ආපහු කික් වෙයි. ඒ කික් එකෙන්ම ගිහින් අහන්න.. සෙට් උනොත් කියපං.පාටියක් දාමු. අම්බානකට කන්න උනොත් නොකිය ඉඳපං අපිට..

      Delete
  12. @Chandana ...ස්තුතියි.!!! මටත් ලාවට එහෙම පේනවා වගේ ..


    @සාජානි අමරතුංග....ඔන්න ඔහේ අවුලක් නෑ අප්පා.ආයෙත් හම්බෙයිනේ.

    ReplyDelete
  13. @YASITH(dot)NET..,මම හිතාගෙන හිටියේ සෙට් වුනොත් ෂේප් එකේ ඉඳල අම්බානක් කෑවොත් විතරක් උඹලට කියල අප්සට් එක නැතිකරගන්නම් කියල !!!!බලමුකෝ එකෙත් හැටි හැබෑට .. :))

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!